Tuesday, 28 January 2014



දේශයේ අනාගතය කවුරුන්ද කියලා අහුවොත් ඔබට දෙන්න තියෙන්නේ එක පිළිතුරයි. ඒ තමයි ළමයි.අප අද දකින විදින ලෝකයේ දරුවන්ගේ අනාගත ලෝකය සුභවාදී කරන්නට ඇත්තටම අපට කළ හැක්කේ කුමක්ද. ශ්‍රී-ලංකාව කියන්නේ බෞද්ධ රටක් නමුත් අද ලමුන්ට අත් වි ඇති අවදානම් තත්වයන් වලක්වා ගැනීමට කටයුතු කළ යුතු ආකාරය මේ ලිපියෙන් ලියන්නටයි බලාපොරොත්තු වන්නේ,


දරුවන්ට අද ඇති ලොකුම හතුරා තමයි මත් ද්‍රව්‍ය හා මත් පැන්. අද වයස අවුරුදු 15 ත් 20 ත් තර බොහෝ පිරිසක් මේ මත් රකුසාට බිලි වි අවසානයි. මෙයට වගකිව යුත්තේ කවුද. රජයද. දුම්වැටි සමාගම්ද නැහැ එයට වගකිව යුත්තේ වෙන කාටවත් වඩා දෙමාපියන්. මොකද අද දවසේ මම දකින විදිහට දෙමාපියන් විශේෂයෙන්ම පියවරුන්. එහෙම කියන්නට තිබෙන ලොකුම හේතුව තමයි අද පියවරුන් තම දරුවන් ඉදිරියේ සිගරට්, දුම්වැටි භාවිතා කිරීම හා සිය දරුවන්ගේ උපන් දින වැනි විශේෂ අවස්ථාවන් වලදි දරුවන් ඉදිරියේ මේවා භාවිතයට ගැනීම. එය දකින දරුවා මෙය වැරදි දෙයක් ලෙස පිළි නොගනිවි. දෙමව්පියනි දැන්වත් ඔවුන්ගේ අනාගත ලෝකයට හානි පමුණුවන මෙවැනි අහිතකර දේ වලින් වැලකෙමු. දුම්වැටි සාමාගම් කරනුයේ ඉල්ලුමට සරිලන සැපයීම දීම පමණි. ඔබ එයින් ඈත් වූ විට එම සමාගම් ලංකාවෙන් සදහටම නැති වී යාවි.


මේ දරුවන්ගේ අනාගතය විනාශ කරන තවත් ප්‍රධාන කෙනෙකු තමයි මාධ්‍ය. එයිනුත් විශේෂයෙන්ම රූපවාහිනි මාධ්‍ය. මන්ද අද දවසේ ළමයින් වෙනුවෙන් වැඩසටහන් ඉදිරිපත් කරමින්, හොද නොහද කියා දෙන වැඩසටහන් නිෂ්පාදනය කරන්නේ අතලොස්සක් මාධ්‍ය පමණි. ඉස්සර 1980-90 කාලයේ විකාශය වුනු වැඩසටහන් හා අද විකාශය වන වැඩ සටහන් ගත්තහම ඒ දේ හොදින් පැහැදිලි වේවි. ළමා ගීත කලාව, ළමා නාට්‍ය, විනෝදාත්මක වැඩසටහන් මේ හැම දෙයක්ම අද නැති වී අවසානයි. එදා සුන්දර ළමා ගීත කළාවක් තිබුණා. අද ඇත්තටම එවැනි වූ ළමා ගීතයක් ඇසෙන්නේත් නැති තරම්. අවර ගණයේ ගීත සහ අවර ගණයේ වැඩසටහන් තුළින් ළමා පරපුර දැවැන්ත අවධානමකට ලක් වී අවසානයි. මීට වඩා රූපවාහීනි මාධ්‍යයෙන් දරුවන්ව හොද ආදර්ශවත් වැඩසටහන් ඉදිරිපත් කිරීම රටේ අනාගත මල් කැකුළුවනට කරන විශාල සමාජ මෙහෙවරක් වේවි.


වර්තමානයේ දරුවන්ට කරන තවත් බරපතල අනතුර නම් ලිංගික අපචාර හා දුෂණ. ලංකාව තුළ පමණක් නොව ලොව පුරා සිදුවන මෙවැනි සිද්දි දස දහස් ගණනක් දිනකට සිදු වීම බරපතල තත්වයක්. දරුවන්ව මෙවැනි දෑ වලින් වලකා ගැනීම අප සැමගේම යුතුකමක්. කුඩා කාලයේ සිටම තම දරුවන්ට දෙමාපියන් විසින් යහපත් ගුණ ධර්ම, හොද පුරුදු කියා දී රටට වැඩදායී පුද්ගලයකු බවට පත් කිරීමට කටයුතු කළ යුතුයි. ඔවුන් කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද කියා නිසි පරිදි කියා දීම දෙමාපියන් සතු තවත් වටිනා කාර්යයක් බවට පත් වේවි. එය මෙවැනි අකාලයේ මිලින වන පුංචි මල් කැකුළුවන්ට කරන දැවැන්ත සද් කාර්යයක් වේවී.


ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනේදී රජයද මේ පිළිබද දැඩි අවධානයක් යොමු කිරීමද ඉතා අත්‍යවශ්‍ය වේ. භෞතික සංවර්ධනය සේම අධ්‍යාත්මික සංවර්ධනයට ද කැප වී ක්‍රියා කිරීම වඩා උචිත වේ. පන්සල තුළින් වඩාත් සාරවත්, ධර්මානුකූල, දේ ලබා දීමට කටයුතු කල යුතුය. ඇතැම් ස්වාමීන් වහන්සේලා හා සංවිධාන අයිතීන් ඉල්ලා උද්ඝෝෂණ කරනවා වෙනුවට එක දරුවෙකුව හෝ ඒ මොහොතේ යහමගට ගැනීමට උත්සහ ගැනීම රටට ඔබ වහන්සේලාගෙන් ඉටුවන වටිනා මෙහෙවරක් වේවි.


අපේ රටේ ඇති ළමා සමිති හා කාන්තා සමිති සමාගම් වලට අප දරුවන්ට අත් වී ඇති අවධානම් තත්ත්වයන් පෙනෙනුයේ ලෝක ළමා දිනයට පමණි. මෙවැනි සමාගම් එම දිනයට පමණක් උඩු බුරනවා වෙනුවට සෑම දවසකම මේ දරුවන්ට අත්වී ඇති ඉරණමින් ගලවා ගැනීමට කටයුතු කරනවා නම් ඔබට සියළු දෙනාගේ ගෞරවයටද පත් වීමටද හැකිය.


මේ සියළු කාරණා පිළිබද සැවොම අවධානය යොමු කරනවා නම් අපේ රටේ දරුවන්ගේ හෙට දවස වඩා යහපත් වුවක් වේවි. එක මොහොතක් දෙමව්පියනි, පාලකයනි, වගකිව යුතු සැවෝම මදකට සිතා බලන්න. ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ දරුවන්ව වඩාත් සුන්දර හෙට දවසකට ගෙන යන්න.


ඔබට බුදුසරණයි..........

0 comments:

Post a Comment

වැරදි ඇත්නම් කියලා යන්න ආසයි මන් හදා ගන්න ***
…පොස්ට් එක හොදයි නම් අදහස් දමා යන්න හොද වෙයි මගේ ඉදිරි අනාගතයට *****